Thursday, November 17, 2011

කෝච්චි පාර…….

අපි දෙන්නා හිටියෙ රේල් පීලි දෙකක් උඩ.එයා හිටියෙ මගෙ දකුණු අත පැත්තෙ. මාව වැටෙන්න නොදී හරි හයියට එයා මගෙ දකුණු අතින් අල්ලන් හිටි හැටි මට තාමත් මතකයි.මං හිතන්නෙ එයාගෙ කකුල් දෙක එයා හිටපු රේල් පීල්ලට හොඳටම ඇලවිල වගේ තිබ්බෙ. එයාට තියෙන පාර දිගේ මිස ඒ පාරෙන් පිටට යන්න විදියක් තිබ්බෙම නෑ. හැමවෙලේකම එයා කිව්වෙ කෝච්චි පාරෙ ඈත බලන්නෙපා කියල.මං දැනන් හිටිය ඒ ඇයි කියල. ඒත් ඉඳල හිටල එයාටත් ඒක අමතක උනු වෙලාවලුත් තිබුනා. කොහොමින් කොහොමින් හරි ඔය ඉඳල හිටල කෝච්චි පාරෙ ආපු ඩක්කුවකට දෙකකට යන්න දෙන්න විතරක් අත අතෑරල ආයිමත් අත අල්ලන් අපි කිලෝමීටර් දෙකක් විතර ඇවිදන් යන්න ඇති. 

දවසක් අපි දෙන්න ඉස්සරහට කෝච්චිය ආවා.එවෙලේ මගේ වගේම එයාගෙත් අත වෙව්ලපු හැටි මට හොඳටෝම දැනුනා. කරන්නෙ මොකක්ද කියල තීරණයක් ගන්න බැරිව එයාත් ලතවෙනවා මට පෙනුනා.

එයාට ගන්න තිබ්බෙ තීරණ තුනකින් එකක් විතරයි. එක්කො අපි දෙන්නම කෝච්චියට බිලිවෙන්න ඕනි.නැත්තම් එයා මාව එයා ඉන්න පීල්ල උඩට ඇදලා ගන්න ඕනි. එහෙමත් නැත්තම් එයා මාව අතාරින්න ඕනි. 

එයා මොකක් කරයිද කියලා මගේ හිතත් දෙගිඩියාවෙන් තිබ්බෙ.මං දැනන් හිටියා එයා ඉන්න පීල්ලට මාව ගන්න එක ලේසි වැඩක් නෙවී කියලා. අන්තිමට මං "කමක් නැහැ මාව අතාරින්න" කීවෙයි, "මට සමාවෙන්න,වෙන කරන්න දෙයක් නැහැ, ඔයා යන්න" කියල එයා මගේ අත අතෑරියෙයි එකම මොහොතෙ. වචනෙන් නොකියපු ගොඩාක් දේවල් ඒ ඇස් ඇතුළෙ ලියවිලා තියෙනවා මං දැක්කා.

එයා මගේ අත අතෑරපු වේගෙට මාව විසිවෙලා ගිහින් වැටුනේ තවත් පාරක් උඩට. මං ඒ වැටුනු තැනට වෙලා කොච්චර වෙලා හිටියද කියලා මට මතකයක් නැහැ.මං ආපහු පියවි සිහියට එද්දිත් කෝච්චිය යනවා, මට එයාව පෙනුනෙ නැහැ.ඒත් මට දැනුන එයා තාමත් එතන හිටගෙන ඉන්නව කියල.

මං හැරිලා මං ඉස්සරහ තිබ්බ පාරෙ යන්න පටන් ගත්තා.ඒක ලස්සනට කාපර්ට් අතුරපු පාරක්. මට ආයිත් හැරිලා කෝච්චි පාර දිහා බලන්නම හිතුනා.ඒත්…..මං දැනන් හිටිය හදිසියෙවත් ආයිමත් මං එයාව දැක්කොත් මට යන්න බැරිවෙනවා කියලා.

ඉතින් කොහොම හරි මං ඒ පාරෙ දිගටම ඇවිදන් ආව. කෝච්චි පාර ගැන හිත හිත ආපු මට කිලෝමීටර් විසිපහ, විසිහය පහුවෙනවා පෙනුනෙවත් නැහැ.ඒ එක්කම මට පෙනුනා පාරෙ ඉස්සරහින් කාර්පට් අතුරපු කෑල්ල ඉවර වෙනවා කියලා.එතනින් එහාට තිබ්බේ ගුරු පාරක්.සමහරවිට ඉස්සරහදි පාර කපන් යන්නත් වේවි කියල මට තේරුනා.

එතකොටම මං දැක්ක කවුදෝ කෙනෙක් මං හිටපු පැත්තට එනවා. එයා ඇවිත් කිව්වෙ එක දෙයයි,මේ පාරෙ ඉස්සරහට තනියම යන්න බැහැ,ඔයා කැමති නම් මං එන්නම් ඔයා එක්ක, මං පොරොන්දු වෙන්නෙ නැහැ ඉස්සරහ පාර ලස්සන සුමට එකක් කියලා, ඒත් ඔයා ඉන්නවා නම් මං හිතන්නෙ අපිට පුළුවන් වෙයි ඒ පාර ලස්සන කරගන්න.මං ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න ගොඩක් වෙලා ගත්තා කියලා නම් මට මතකයි. 

කොහොමින් හරි අපි දෙන්න ඒ පාර හදාගෙන ඉස්සරහට ගියා. ඉඳල හිටලා මට කෝච්චි පාරත් මතක් උනා.තාමත් මං දන්නෙ නැහැ එයා තාම කෝච්චි පාරෙ එතනම ඉඳන් මං දිහා බලන් ඉන්නවද, නැත්තම් එයා ඉස්සරහ වෙනස් කරන්න බැරි උනු ඒ කෝච්චි පාර දිගේ තනියම ගිහින්ද, එහෙමත් නැත්තම් තව කෙනෙක් එයාගෙ ගමනට එකතු වෙලාද කියලා. ඒත් මගේ හිත කියනවා කවමහරි දවසක ආයිත් මට කෝච්චි පාර හරි, කෝච්චි පාරට මං හරි හම්බවෙයි කියලා.අන්න එදාට හරි මට එදා කියාගන්න බැරි උනු " සුබ ගමන්" කියන වචන දෙක කියාගන්න පුළුවන් වෙයි කියල මං හිතනවා.....

2 comments:

  1. It doesn't matter if u hold it for a minute or several years. It will last for the life time..:)

    Thankuu Aka aiye....

    ReplyDelete