Tuesday, March 19, 2013

අප්පච්චී ...........



මා අප්පච්චී කවදත් ඇමතුවේ තාත්තා කියාය...... ඒත් මා කැමති වුනේ අප්පච්චී කියන්නටය...... කොහොම ඇමතුවත් අප්පච්චීගෙන් මා දුටු ආදරය කවමදාවත් වෙනස් වුනේ නැත. වෙනස් වන්නේද නැත...... 

සාමාන්‍යයෙන් අප්පච්චීලා දැඩිය...... ආදරය වැඩිය පෙන්වන්නේ නැත..... නමුත් මගේ අප්පච්චී කවමදාවත් මට ආදරය පෙන්වන්නට පැකිළුනේ නැත.... පුංචි සන්දියේ පටන් අප්පච්චීත්, මාත් අතර වූයේ බොහෝ කිට්ටු බැඳීමකි..... මට පොත් කියවන්නට පුරුදු කලේ අප්පච්චීය. ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලන්නට, නිවැරදි දේ වෙනුවෙන් කතා කරන්නට බිය නොවන්නට ඉගැන්වූයේ අප්පච්චීය.... හැමදාමත් අම්මාට වඩා මා, මගේ ආකල්ප තේරුම් ගත්තේ ඔහුය.....

පුංචි කාලේ පටන් මා මගේ හොර වැඩ, දඟ වැඩ වලට බොහෝ විට හවුල් කර ගත්තේ ඔහුය.... අප්පච්චීගේ හුරතලය මා නරක් කරන බව පවසන අම්මාගේ ඇනුම් පද වලට අප්පච්චී කවදාවත්ම සැලෙනු මා දැක නැත.... කොහොමත් කෙල්ලන් වැඩිපුර ආදරේත් තාත්තාටය.....
ඉස්සර මට උණ හැදුනු විට මා ලඟට වීගෙන කතන්දර කියන්නේ අප්පච්චීය..... ඔහුගෙන් එකම කතාන්දරය  කොපමණ වාරයක් ඇසූවද මට එපා වන්නේ නැත..... ඒ දවස් වල මා අසන සැරයක් පාසා එකම දේ කියන්නට අප්පච්චීට කොපමණ ඉවසීමක් තිබෙන්නට ඇත්දැයි දැන් මට සිතේ..... හැමදාමත් මා බත් කවාගන්නට කැමති වුනේද අප්පච්චීගෙනි..... 

අප්පච්චී කවදත් මගේ ඇසේ කඳුලක් දැකීමට කැමති වුනේ නැත.... ඔහුගේ ආදරය කොන්දේසි විරහිත, උතුම් ආදරයකි..... සමහර වෙලාවට අම්මලාගේ ආදරය ආත්මාර්ථකාමීය..... නමුත් අප්පච්චීගේ ආදරය කවමදාවත් එසේ වන්නේ නැත...... 
මා ජීවිතය දැක්කේ ඔහුගේ දෑසිනි..... බලාපොරොත්තු තබා ගත යුත්තේ ඒවා කැඩී බිඳී යාමෙන් වන වේදනාව දරා ගත හැකි නම් පමණකැයි ඔහු නිතර කියනවා මට මතකය..... අප්පච්චීගෙන් මා උගත් දේ බොහෝය...... පුංචි සන්දියේ සිටම කවුරුන් හෝ මගෙන් මා වැඩිපුරම ආදරේ කාටදැයි ඇසූ විට මා උත්තර දුන්නේ අම්මාටයි, තාත්තාටයි දෙන්නටම කියාය..... නමුත් අප්පච්චීට මා දශමයක් හෝ ආදරේ වැඩිය..... 

තවමත් මා කොලඹ සිට ගෙදර යන විට අප්පච්චී මා යන මගට පැමිණ හිඳියි....... කොතරම් එපා කීවද , ඔහු මා අත රැඳි එක බෑගයක් හෝ ඔහු අතට නොගෙන නොනවතියි..... 

මිනිසෙකුට ගැහැණුන් දෙදෙනෙකුට මෙතරම් ආදරය කල හැකි දැයි මට වැටහුනේ, අප්පච්චී අම්මාටත් මටත් දක්වන අසීමිත ආදරය නිසාය..... අප්පච්චී අම්මාට වඩා මටයි ආදරේ...... මං ඉස්සර අම්මාට එහෙම කියනවා මතකය..... නමුත් අප්පච්චී අපි දෙදෙනාටම එක ලෙස ආදරේ බව දැන් මම දනිමි...... සමහර විට ඔහු මට වඩා අම්මාට ආදරේ වන්නට ඇත...... විය යුත්තේ එයය...... 

තවමත් ඉස්සර වගේම අප්පච්චී ලඟට වීගෙන හිඳින්නට ඇත්නම් කියා මට සිතෙන වාර අනන්තය...... පුංචි කාලය කොහොමත් හොඳය....... අප්පච්චී සමඟ පුංචි කාලය කොහොමත්ම හොඳය.........

Saturday, September 15, 2012

වැස්ස වළාහක දෙවියනි, ඇවිදින් යනවද.....



 වැස්ස වළාහක දෙවියනි අමනාපද තව....
නිල් කෙත් වතු පුරන් වෙලා වැහි දිය නැතුවම....
වියළී ගිය මුහුණු පුරා නොකී කතා මත....
හෙලන සුසුම් පොදක පවා දුක අහුරා ඇත.....

කිළුටක් නැති අපේ හිතෙන් අපි උහුලන බර
රජ මැඳුරේ බිත්ති අතර කියවුනේම නැත.....
එහෙව් අපට එදා ඉඳන් ලඟින් උන්නු නුඹ
මෙතෙක් කලක් අමනාපව නො එන කරුණු කිම.....

නුඹ එන මග බලන් ඉන්න අප්පච්චිගෙ නෙත....
අපිට හොරෙන් වැටෙන කඳුළු වැළකුවෙ නෑ අද....
කමා වෙලා උනු දොසකට අනුකම්පා කර....
තරහ අවසරයි දෙවියනි ඇවිදින් යනවද.....

Saturday, July 28, 2012

හොඳම යාළුවාගේ වීර චාරිකාව....


එයා මට හිටපු හොඳම යාළුවා.. හිටපුම නෙවි, දැනට සහ ඉදිරියටත් ඉන්න.
හොඳම කියන්නෙ ඉතින් අතිජාතම මිත්‍රයා..

හැබැයි පොඩි වෙනසක් තිබ්බා. එයා හැමදාම මට වඩා අඩි දෙක තුනක් ඉස්සරහින් ගමන් කරේ. ඉක්මනින් හරි පරක්කු වෙලා හරි මං ගියෙත් එයා ගිය අඩි පාරට සමාන්තරව හරි , ඒ අඩි පාර උඩින්ම හරි තමා.

ඔන්න දවසක් එයා කොස් කොළ තොප්පියකුත් දාගෙන, ලී කඩුවකුත් අරන්, ඔරුවක නැගලා එයාගේ නිධානය හොයන් යනවා කියලා ගියා...
"මේ සංසාරෙන් මිදෙන්න ඕනි" වගේ මට තේරුනත් මං නොතේරෙනවා වගේ ඉන්න දේවල් ටිකකුත් කියල තමයි එයා ගියේ...

මං ඒත් මුලින් කිව්වා අඩුම ගානේ මගෙ උපන්දිනේ පහුවෙනකම්වත් ඉඳල යන්න කියල...
පොඩ්ඩක් හිතන්නකෝ හොඳම යාළුවාගෙ සුබ පැතුමක් නැති උපන්දිනයක් කියන්නෙ, මට හිතාගන්නවත් බැරි උනා....
මගේ ආත්මාර්ථකාමී ඉල්ලීමට එයා හීනියට හිනාඋනා, හිනාවෙලා කිව්වා,  “ඔයාට හොඳටම මාව තේරෙනවානෙ, මං ඔයාට හුලඟ දිගේ සුබ පැතුමක් එවන්නම්” කියල...

ඒත් ඉතින් හොඳම යාළුවා කියන්නෙ හොඳම යාළුවටනේ...එයා දන්නවා එයාගේ අඩි සලකුණු දිගේ මං ඉක්මන්ට හරි පරක්කු වෙලා හරි එනවා කියලා...ඒ නිසා එයා අඩි සලකුණු තියලා යාවි...මොකද අපි දෙන්නම එකම අච්චුවේ, තියෙන්නෙ කාලය පිලිබඳ ප්‍රශ්නයක් විතරයිනෙ...

ඉතින් එහෙනම් ආයිත් මුණගැහෙනකං සුබ ගමන් කියල විතරයි අන්තිමට මං එයාට කිව්වෙ...

හොඳම යාළුවා කියන්නෙ ඉතින් හොඳම යාළුවටනේ........!

Tuesday, July 24, 2012

පුංචි කාලේ මගේ චිත්‍රය


ඉර ඇවිත් කඳු මතින් එබෙනවා
වළාකුල් දෙක තුනක් අඳිනවා
කුරුල්ලන් පේළියට ඇදෙනවා
කොළේ මැද පොඩි ගෙයක් තියෙනවා

ගෙයි පාර දොරකඩම රැඳෙනවා

එක දොරයි ජනේලෙයි පේනවා
ගෙදර ලඟ ලොකු ගහක් තියෙනවා
පැත්තකින් පොඩි දොළක් ගලනවා

අම්මවයි තාත්තාත් අඳිනවා
වැඩි හොඳට මාත් මම අඳිනවා
ඕනි නම් මල් ගසුත් අඳිනවා
අම්මෙ මේ හරි නේද අහනවා

Tuesday, July 3, 2012

නුඹ හැරදා තටු විහිදා-කෝම යනුද අප්පච්චී.....


ඇවිදිද්දී පා පැකිලී
පුංචි හිතත් වැළපෙද්දී
කිරට නොහැරි නුඹේ රුහිරු
හැලෙනු දුටිමි කඳුලැලි වී.....
ආ මඟ දුර ගෙවා මගේ
සවියක් උනු සෙනේ නුඹේ
මතක මැදින් ඇහැරෙද්දී
හිතට දුකයි අප්පච්චී.....
තුඟු සුවිසල් අහස අරා.....
සුපුන් සඳක සිසිල දරා.....
හිරු මඬලක තෙදින් වසා.....
නුඹ දිවියම එකළු කලා.....
දයාබරම නුඹෙ සෙවනේ
කිරිල්ලියක තටු වැඩුනේ.....
නුඹ හැරදා තටු විහිදා
කෝම යනුද අප්පච්චී.....

Tuesday, May 22, 2012

මම....මා සොයා යමි.....

මම
ප්‍රේමය අකුරු කලෙමි
ජීවිතය සරියි වනපොත් කලෙමි

අතොරක් නැතිව පිපි පෙම් මල්
මල'සුන් මතම පරවනු දුටිමි

එ පසුපස වු වියෝ දුක
දැකිමි, හැඳින්නෙමි, පසක් කලෙමි

ප්‍රේමය කිමැයි විමසන බොහෝ නුවරුන් දුටිමි
සිනහවෙන් වැසූ උණු කඳුළු කැට හැඳින්නෙමි
      
      
මම
,
                                                                          එදුක් බැම්මෙන්
                                                             මිදෙමි,
                                                                   සැනසෙමි,
සුවපත්ම වෙමි…
                                                         මම,
                                                                              මා සොයා යමි……

Monday, April 30, 2012

බක් මහ හුලඟේ....

මතක අකුණු සැර

වැදුනට හිත මත

වැලලු අතීතය

ඉඳපන් ඔහොමම...

අකල් අනෝරා

කඳුළුත් අරගෙන

බක් මහ හුලඟේ

හමපන් අහකට...