Sunday, May 29, 2011

නෑවිත් යන්ට බැරිය..... නොගොස් එන්ට බැරිය....." මළවුන්ගේ අවුරුදු දා"

සමුගැනීම සැබැවින්ම වේදනාකාරී හැඟීමකි...........

එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ " මළවුන්ගේ අවුරුදු දා" හි දෙවෙන්දොරා සං නොරිකො ගෙන් සමුගන්නා අවස්ථාව මා ඒ පැවසූ දේට හුදෙක් එක් උදාහරණයක් පමණකි. මළවුන්ගේ අවුරුදු දා කියවූ හැමදෙනෙක්ම පාහේ එයට එකඟ වනු ඇතියි මම විස්වාස කරමි. සරච්චන්ද්‍රයන්ගේ සොඳුරු පරිකල්පන ශක්තියට මා බොහෝ ගරු කරන්නට පටන් ගත්තේද එම කෘතිය කියවීමෙන් අනතුරුවය.  මෙම පිටුව උපුටා දක්වන්නට සිතුවේද එම කෘතිය කියවූ මෙන්ම නොකියවූ අයෙකුටද ඒ සොඳුරු මිනිසාගේ චින්තනය පිලිබඳ යම් හැඟීමක් ලබාගැනීමට එය ඉවහල් වනු ඇතැයි මා විස්වාස කරන නිසාවෙනි......  


" ඔබ එතකොට යනව, නෙ? හෙට යනව. එතකොට හෙට ඔබ නෑ. ඔබ ඉන්නෙ අද විතරයි. අද දවස හමාර වුනාම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි. අද අපි දෙන්න ඉන්නව. හෙට මම විතරයි. හෙටත්, අනිද්දටත්, කවදටත් මම විතරයි. මොකක්ද වෙනස? අද වගෙම හෙටත් කවුරුත් නැගිටිනව, කනව බොනව, වැඩට යනව, කතා බහ කරනව. මාත් මේ ඔක්කොම කරනව. ඒත් මම විතරයි. ඔබ නෑ."

ඔහු මුවින් නොබැණ මා දෙස බලා සිටිය සැටි මට මතකය. ඔහු මගේ දුක දුටුවේය. එහෙත් " මම යන්නෙ නෑ," යි නොකීවේය. " මම ආයෙමත් එනවනෙ, " යි ඔහු කීවේය. එහෙත් ඒවා දුබල වදන් විය. ඔහුවත් ඒවා විශ්වාස කලාදැයි මට සැක සිතුනි. ඔහුට නොයන්ට තිබුනි. හෙට නොගොස් අනිද්දා යන්ට තිබුනි. " මම අනිද්දා යනව," යි කීවේ නම්, මම කෙතරම් සැනසෙම්ද. අනිද්දා වුවත් තව එක් දවසක් තිබෙනවා නොවේද? ඒ දවසත් මේ වාගේම ගෙවී යනු නියතය.   ආයෙමත් " මම හෙට යනව, " යි ඔහුට කියන්ට සිදුවේ. එහෙත් අද? අද ඔහු හෙට නොයයි. ඔහු හෙට යන දවස නොවේ අද. අදට හෙට තිබේ, හෙටට කුමක් වෙතත්.

ඔහු නිසොල්මන්ව හුන්නේය, මා දෙස බලාගෙන. ඔහුගේ තීරණය අනිවාර්යය. එය ලෝකයේ ජරා මරණය සේ වෙනස් නොවෙන නියත ධර්මයක් සේ විය. ඇයි එසේ වන්නේ? යන්ට තීරණය කලේ ඔහු නොවේද?

" තව කල් දැම්මත් කවදා හරි යන්න එපාය. මොකටද කල් දාලා? ඉක්මනින් ගිය තරමට ඉක්මනින් එන්න පුලුවන්."

මගේ කණට මේ වචන කොඳුරනවා ඇසිනි. යලිත් ආ හැකි නිසා ද යන්නේ? නොගියොත් යළිත් ආ නොහැකිය. එය සැබෑවකි. මට එය නොතේරුනි. යාම හොඳයි. ගොස් ඊමද හොඳයි. ලොවැ ඇත්තේ යාම ඊමය. නෑවිත් යන්ට බැරිය. නොගොස් එන්ට බැරිය. මගේ හදවත සැනසුම් ලද්දේය.......


 
"ඉක්මනින්ම නැවත එතොත්

මළවුන්ගේ අවුරුදු දා

මටත් නැවත එන්ට ඇහැකි

මළගිය ඇත්තන් කැටුවම...."

Saturday, May 28, 2011

සන්තියාගෝ නම් සැරිසරන්නා (The Alchemist)

කෙනෙක්ගේ හිතකට සුවිශාල බලපෑමක් ඇති කිරීමේ හැකියාවක් තියෙන පොත් හමුවෙන්නේ ගොඩක් කලාතුරකින්....එහෙම මට හමු වූ පොතක් තමයි, "සන්තියාගෝ නම් සැරිසරන්නා". ලියලා තියෙන්නේ පවුලෝ කොය්යෝ කියන බ්‍රසීල ජාතික ලේඛකයා. පරිවර්තනය චූලානන්ද සමරනායක මහත්තයාගෙන්. මට මේක කියවන්න ගෙනත් දුන්නේ ගොඩාක් පොත් කියවන, විද්‍යා ප්‍රබන්ධ රචකයෙක් වෙන, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විස්මිත සිහින දකින්නෙක් වන, දමිත නිපුණජිත් කියන යාළුවා.

ඇත්තම කිව්වොත් පොතෙන් කියවෙන්නේ නැවත නැවත දකිනා සිහිනයක් අනුව යමින් සිය ඉරණම පසුපස හඹා යන සන්තියාගෝ කියන එඬේර කොලුවෙක් ගැන.බැලූ බැල්මට බොහොම සරළ කතාවක් කියලා පෙනුනත්, පොතේ තියෙන නොගැඹුරම එහි සැබෑ ගැඹුර පෙන්වනවා.

පොතේ කියලා තියෙන විදියටම, "ජීවිතය වඩාත් රසවත් වෙන්නේ හීනයක් හැබෑවීමට ඇති හැකියාව කියන කාරණය නිසයි..........."
ඒ වගේම ජීවන ගමන් මගෙහි හමුවන දහසකුත් එකක් නිමිති නිවැරදිව හඳුනා ගැනීම මතයි.....
අත් හැරලා දාන හැම ආශිර්වාදයක්ම සාපයක් බවට පත්වෙනවා......

පොතේ තියෙන හැම වචනෙකම වගේ ලොකු තේරුමක්, ජීවිතේට පාඩමක් හැංගිලා තියෙනවා කියලා මං කීවොත්, මං හිතන්නේ මේ පොත කියවලා තියෙන බොහෝ දෙනෙක් එයට එකඟ වේවි....

පොත කියවලා ඉවර උනාම මගේ හිතට ආපු මේ පුංචි කවියෙන්ම මේක ඉවර කරන්න හිතුවේ ඒ පොතේ කියවෙන දේ මේ කවියෙන් සංෂිප්ත වෙලා ඇතියි කියල මට හිතුනු හින්දා......

ජීවිතයක කඳුළු රැගෙන

සිනහව සොයාගෙන

අපි සැරිසරන්නෙමු

මග හසර සොයා යන්නෙමු
 
නමුදු........

එය අප තුලම සැඟව ඇති බැව්

අපි නොදන්නෙමු.....

මගෙ අප්පච්චි.......

ඉරගල වැටිලා පෑලදිගින්
සිත් අහසම අඳුරින් මගෙ අප්පච්චි
ඒ අහසට පසොලොස්වක සඳ වී
තනි මැකුවේ ඔබමයි මගෙ අප්පච්චි.......
සිරිමා බෝ මැඩ ලොව්තුරු සුවය තරම්
ඔබේ සෙනේ ගඟ නොසිඳෙයි සයුර තරම්
හද පුදසුන මත සදා සුවඳ දෙන
පිවිතුරු කුසුමයි ඔබ මට අප්පච්චි..........
ගෙවා යොදුන් දුර මහ ගිරි දඹය තරම්
පදරුත් සුන් දිවි ගීයම එකළු කරන්
ජීවිතයට මග හසර කියාදෙන
මහ බෝසත් ඔබමයි මගෙ අප්පච්චි............

මවුනි, ජීවිතේ අරුත ඔබයි.....

සංසාරේ මං ලකුනු අතරමග
නොසැලෙන පාරමිතාව ඔබයි
පිවිතුරු සෙනෙහෙන් සිත සනහාලන
මවුනි, ජීවිතේ අරුත ඔබයි.....

වසන්තයේ කොඳ කැකුළු පුබුදුවන
කුලුඳුල් මුදු සඳ කිරන ඔබයි
දිවි කතරේ මග නොමග සොයා යන
විඩා දෙවන සිත, සිහිල ඔබයි.....

මිරිඟු සයුර මැද සිත තනි වූ දා
මග පෙන්වන තරු ලකුණ ඔබයි
ලොව්තුරු බුදු මග සක්මන් කරනා
නොනිමෙන සෙනෙහස් ගීය ඔබයි....

වසන්තය ඇවිදින්....

ඇහැළ මල් පිපී යායට
වසන්තය ඇවිත් ආයෙම
අලුත් මල් හීන සුවඳද
රහස් මිමිණුවා ඉඳහිට.....

බොහෝ දන දෙපා දැවටුන
පැතුම් දෙණි මතින් යන්නට
හෙටත් මග කියන සුලඟට
නුඹත් මුහු උනා හෙමිහිට.....

අනේ, නුඹ ඇවිත් ගියහම
මටත් දුක හිතෙයි හොඳටම
නමුත්, එනතුරා යළි නුඹ
හෙටත් මග බලමි සෙනෙහෙන....


Friday, May 27, 2011

වියපත් නොවූ ප්‍රේමය.....


සිනා සලන ඔය ඇස් දෙක
එදා වගෙම සොඳුරුයි මට
කාලයේ වියපත් නුබ ගැබ
එදා දුටුව සඳමැයි නුඹ........

නුඹට බැඳුනු ලෙංගතු හිත
එදා වගෙම මිහිරියි තව
ඉහ ඉද්දර හිස තියාන
නුඹේ ලඟින් ඉන්නම් මම......

වෙව්ලන දෑඟිලි සුරතට
එදා තරම් සවි නැති වුව
ජීවිතයේ මේ ටික දුර
එදා වගෙම එන්නම් මම.....

About "ආදරණීය සිත් අහස...."


I am a Dreamer...
"Dear you.."  is one of the dream came true....
 

මම සිහින දකින්නෙක්මි.....
එසේ දුටු එක් සිහිනයක් එක්තරා අයුරකින් කල එලි දැකීමකි, ආදරණීය සිත් අහස.....