Saturday, July 23, 2011

කොහොම ගනිමි යළි මගෙ හිත.....

දුර ගමන් ගිහින් සඳවතියත් නොකියාම ඉතින්
මල් කිණිති වැටී මහ පොළොවට කිව්වා රහසින්
තරු කඩා වැටී ආකහෙනුත් කරමින් ඔච්චම්
මට හොයාගන්ට බැරි උනි කවි හිතත් නුඹ අරන්...

නුඹ මටත් හොරෙන් මගෙ හිත හොරකම් කෙරුව තරම්
මග ලකුණු දැන හමන සුලඟත් ගතු කියයි හෙමින්
මගෙ දෑස් අතරමං වන නුඹෙ දෑස් මග හැරන්
තව යන්න බෑ දුරක් නුඹ මෙහි දමා තනිකමෙන්...

 
සිත නිවන සරතැසක් නුඹ දිවි ගීය හැඩ කරන්
ගිම් නිවන පැන් පොදක් නුඹ මට සදා ලඟ ඉඳන්
සිත් මළුව පුරා නුඹ මගෙ ඔය කරනා සක්මන්
දිවි අරණ එකළු කරවන මග වේවි නිසොල්මන්...

පිපී සැලෙන දහසක් නෙක මල් සුවඳ මැදින්
මට නුඹේ සුවඳ දැනුනා පෙර සසර හුරු ලෙසින්
හද කැලඹවූ නුඹේ සෙනෙහස මහ මෙරක් තරම්
දැක කොහොම ගනිමි යළි මගෙ හිත නුඹට බැඳි පෙමින්...

2 comments:

  1. ‎ඔබෙ සුසුම් අරන් හැමු පවන් රොදෙන්
    ඔබෙ සුවඳ අරන් හැමු මල් සුවඳින්
    යළි පාර අහන් සඳවතියගෙනුත්
    පිය මනිමි ඉතින් නුඹෙ හිතට හොරෙන්
    යළි කිසිම දිනක හැර නොයන සිතින්

    ReplyDelete
  2. ස්තූතියි සිතඹර, ආදරණීය පසුවදනට

    ReplyDelete