Monday, October 31, 2011

දයාබර රුහුණ....



අඹ ගහ, තාමත් හොයනවද අපිව
බංකුව අදත් අපි ගැන ඇහුවලු නේද
එතකොට අර හොස්ටල් එකේ
එක පෙළට තිබ්බ මේස ටික එහෙම
වෙන කාට හරි අයිති ඇති නේද
සිවිල් එක ගාව ලොකු ගහ යට
මිකැනිකල් බෙන්ඩ් එක ලඟ
තාමත් කට්ටිය මුණගැහෙනවැති
උදේට අපි ලෙක්චර්ස් යන පාරෙ
තාමත් මැයි මල් වැටෙනවා ඇති
වේලිච්ච කොල අහුලනවද තව අයත්?
ලෙක්චර්ස් අස්සෙ අපි තරම් හොඳට
කවුරුත් චිට් පාස් කරාවිද මන්දා
ප්‍රැක්ටිකල්, ලෙක්චර්ස් වල ගහපු හොර සයින්
තාමත් මතකයි අද වගේ මට
රෑ තිස්සෙ නිදිමරන් ගොඩ දාපු ටියුට්
මෙච්චර ගොඩක් තිබුනද මන්දා
ලයිබ්රරියෙ තුන්වෙනි මේසෙට
දැන් නම් වෙන අය ඇවිත් ඇති
කැන්ටින් එකේ තාමත්
කුප්පි එහෙමත් යනවත් ඇති
කැම්පස් එකේ කොට තාප්ප උඩ
පෝළිමට දැනුත් වෙන අය ඉඳන් ඇති
කොල්ලොන්ගෙ හොස්ටල් එකේ
සිංදු සද්දෙ දෝංකාර දෙනව ඇති
ෆැකල්ටිය ඇතුළෙ මේ දැනුත්
කැන්ටින් එකේ පුටු මේස වලට
ඉඳහිට අපිවත් මතක් වෙනව ඇති
Bucket, Social ,Going Down අස්සෙ
අවුරුදු හතරක් ගෙවුනද මන්ද
මතක ඇහිඳිනව මං නම් තාම
අද ඊයෙ වගෙ, දයාබර රුහුණ....

Friday, October 7, 2011

දුක අසන අඹ ගසත්....ළඟ හිදින බංකුවත්.....එදා වගෙමයි අදත්.....


බොහෝ මහළුයි දැන්
අඹ ගහත් බංකුවත්
බංකුවේ පිටුපසින්
ඇහුනු හැඬුමට හෙමින්
තතු දන්න අඹ ගහත්
වැලපුනා හෙමි හෙමින්...
හිනා, කඳුළුත් හොරෙන්
තෙපුල බස් ආදරෙන්
ඇහුනෙ අපි දෙන්නටම
විතරමයි මේ සැරෙත්
ඇවිත් ගිය බොහෝ උන්
නිදි මරන් කඩන මල්
වලට තනි රැක ඉතින්
අපි උන්නෙ සීරුවෙන්
බොහෝ දෑ විසඳමින්
කෙරෙන මිතුරූ බසත්
අහන් උන් හැටි උනත්
තාම මතකයි මටත්....
ගිය දොහෙත් ඔහොමමයි
අඬ අඬයි උන් ගියෙත්
මේ දොහෙත් එහෙමමයි
මට උනත් දුක තමයි
ජීවිතේ ඔය තමයි
යාම් ඊමුත් ගොඩයි
සිදුවීම් එකමමයි
වෙනස මිනිසුන් තමයි.....

Wednesday, August 31, 2011

ගසට උරුමැති මලක් නම් නැති....


මලක් වී නුඹ පිපුනි මා ලඟ
කටු අතර සිහිනයක් විලසට
පියෙන් පිය නුඹ පෙති විහිදි කල
සතුටු කඳුලින් තෙමුනි මා හද

ගෙවී යන කාලයත් සමඟින
කටු වලට නුඹ දෙස් දෙවන සඳ
කරන්නට කිසි දෙයක් නොමැතිව
නුඹට වැඩියෙන් රිදුනි මගෙ හද

කොහෙන්දෝ ආ සුලඟ සමඟින
හාද වී නුඹ ගියත් බෝ දුර
හඬන්නටවත් වරම් නැති කල
හිස් අතින් කරබාන උනි මම

ගසට උරුමැති මලක් නැති බව
හැඟුනි නම් මට ගෙවුනු එදවස
එසඳ නුඹ මා අතැර ගිය කල
මේ තරම් හිත රිදෙන්නේ නැත

Sunday, August 28, 2011

අකීකරු පෙම...........


සිත හිස් බවින් පිරි අයුරු
දැක යළිත් වන මට නුදුරු
නුඹ පෙමත් සදිසිය මකුළු
ඉන් ගෙයත් කඩා බිඳ හෙලලූ
නුඹෙ අකීකරු පෙම සිතලූ
අස්වැසුම් නොම දුන් අයුරු
දැන සිත පුරා ඇඳි නුඹ රූ
මම මකමි දුකකින් සිරවූ


පෙම් අහස් මාළිග තනපු
මං මුලා වන තෙක් ගියපු
මෙ ගමන තව බෑ කරනු
තනිකම හොඳයි මට පුරුදු
සිත කෙරූවත් මගෙ රුසිරු
නුඹෙ පෙමින් වේ නම් නපුරු
පලක් වේවිද සිකුරු
ඔය කරන ඔච්චම සොඳුරු.....