Monday, April 30, 2012

බක් මහ හුලඟේ....

මතක අකුණු සැර

වැදුනට හිත මත

වැලලු අතීතය

ඉඳපන් ඔහොමම...

අකල් අනෝරා

කඳුළුත් අරගෙන

බක් මහ හුලඟේ

හමපන් අහකට...

Friday, April 27, 2012

නන්නාඳුනන හඳුනන...

බෝ නාඳුනන මිනිසුන්

හඳුනන හිතවතුන් වෙති....

සමහර හඳුනනා වුන්


නන්නාඳුනන අය වෙති....

Saturday, March 24, 2012

දුවන තරඟෙක නුවර පාමුල ....

 
දුවන තරඟෙක නුවර පාමුල - මමත් නුඹ මෙන් තවත් මිනිසෙකි
මෙතෙක් ආමග මගේ දිවියෙත් - ඇද වැටුනු තැන් අපමණව ඇති

සිනහවෙන් පිරි ඉතිරි මුව මත - යටම සැඟවුනු කඳුළු බිඳුවකි
තවත් එක් මග ඇරුනු සිහිනෙක - නුඹත් ඇවිදින මැරුණු මිනිසෙකි

ගොළුව ගිය තුරු වියන් පාමුල - ගිලිහි ගිය මල් දහසකුත් ඇති
නමුත් කිකලකවත් ගසට නම් - එ මල් කිසිවිට දොසක් නොකියති

බොහෝ ඇවිදින මැරුණු මිනිසුන් - මෙපුර අදටත් හිඳිනවා ඇති
උනුත් මා වාගේම ඉඳහිට - අතීතය ගැන හිතනවා ඇති

වසන්තය විත් නැවුම් බවකින් - යළිත් නව මල් පුබුදුවනු ඇති
මැරුණු ජීවිත යළිත් දළු ලා - විසල් අතු ඉති විහිද වනු ඇති

Tuesday, March 20, 2012

ඉල් මහේ මිය ඇදුනු ප්‍රේමය...

සුසුමක් මුදා අහසට....
ඉල් මහේ මිය ඇදුනු ප්‍රේමය....
අහවර දුරුත්තේ බණ....
කාලය නිසල ගමනක.....

අපි දැන උන්නු ප්‍රේමය....
දැන් අපි නාඳුනන වග....
අප හුරුපුරුදු ගහ කොළ....
තාමත් කියයි ඉඳහිට.....

Sunday, March 11, 2012

හිතවත් සුලඟ....


අසන් හිතවත් සුලඟ
මවෙතින් නික්ම යනු රිසි
බෝ දුර ගෙවා නැවතත්
නුඹ නාවාට කම් නැති...
රළු ගල් බොරළු මග ඇති
වැර ගෙන ගෙවා යනු හැකි
නුඹ යන ගමන අවුරන
කඳු හෙල් මගැ'ර යනු සකි...
තවමත් අහිතවත් නැති
ඉර හඳ පවා දන්නැති
ලෙංගතු කමෙන් අඩු නැති
වසන්තය ආවාට පල නැති...
අසන් හිතවත් සුලඟ
මවෙතින් නික්ම යනු රිසි
මම දැන් මෙතැන නවතිමි...
නුඹට රිසි මග හමා යා හැකි...

Friday, March 9, 2012

සොඳුරු මරණය….

මේ සා සොඳුරු මරණය….
නුඹ ඇවිත් යන්නට ඇත…
මින් පෙර බොහෝ තැන් වල
නුඹ ඇවිද ගිය ලකුණු ඇත….
කඳුලක ලෙහුනු බැඳුමක
නුඹ ඉතිරි කල දේ ඇත…
සසරක නියත අනියත
නුඹ නොකියාම කිව ඇත…..
.
.
.
.
එබැවින් නුඹට පව් නැත….
.
.
.
.
එක් සීතලම සමයෙක
සඟවා රහස් නුබ ගැබ
සුසුමක් හෙලා හෙමිහිට
නුඹ ඇවිත් යන්නට ඇත….

Wednesday, March 7, 2012

කුවණ්ණා...

 
තමැන්නා වෙරළතට සුබ අසුබ කැන්දා
විජය කුමරුන් සමඟ එක මගේ ගියදා
සනුහරේ උන් මැවූ පැතුම් නුඹ හන්දා
විජයගේ ප්‍රේමයට බොඳ උනිද කුවණ්ණා...

මදුරා පුර කුල කුමරි මාතොටට වැඩිදා

ප්‍රේමයත් කොයි අහක ඉහිරුනිද මන්දා
සනුහරේ උන් නැසූ පාපයට පෙරදා
කොයි තරම් දුකක් නම් ඉහිලුවද කුවණ්ණා...

රාවණා පරපුරේ භූමියම කෙලෙසා
ලාට රට උරුමයම අභිෂේක කලදා
හිතේ රැඳි දහසකුත් හැඟුම් පොදි හංගා
පිටමංවු කඳුළු කැට බර වැඩිද කුවණ්ණා...