Wednesday, August 31, 2011

ගසට උරුමැති මලක් නම් නැති....


මලක් වී නුඹ පිපුනි මා ලඟ
කටු අතර සිහිනයක් විලසට
පියෙන් පිය නුඹ පෙති විහිදි කල
සතුටු කඳුලින් තෙමුනි මා හද

ගෙවී යන කාලයත් සමඟින
කටු වලට නුඹ දෙස් දෙවන සඳ
කරන්නට කිසි දෙයක් නොමැතිව
නුඹට වැඩියෙන් රිදුනි මගෙ හද

කොහෙන්දෝ ආ සුලඟ සමඟින
හාද වී නුඹ ගියත් බෝ දුර
හඬන්නටවත් වරම් නැති කල
හිස් අතින් කරබාන උනි මම

ගසට උරුමැති මලක් නැති බව
හැඟුනි නම් මට ගෙවුනු එදවස
එසඳ නුඹ මා අතැර ගිය කල
මේ තරම් හිත රිදෙන්නේ නැත

Sunday, August 28, 2011

අකීකරු පෙම...........


සිත හිස් බවින් පිරි අයුරු
දැක යළිත් වන මට නුදුරු
නුඹ පෙමත් සදිසිය මකුළු
ඉන් ගෙයත් කඩා බිඳ හෙලලූ
නුඹෙ අකීකරු පෙම සිතලූ
අස්වැසුම් නොම දුන් අයුරු
දැන සිත පුරා ඇඳි නුඹ රූ
මම මකමි දුකකින් සිරවූ


පෙම් අහස් මාළිග තනපු
මං මුලා වන තෙක් ගියපු
මෙ ගමන තව බෑ කරනු
තනිකම හොඳයි මට පුරුදු
සිත කෙරූවත් මගෙ රුසිරු
නුඹෙ පෙමින් වේ නම් නපුරු
පලක් වේවිද සිකුරු
ඔය කරන ඔච්චම සොඳුරු.....

Monday, August 22, 2011

නුඹ දනියි .....

යන්ට වන බැව් දැන දැන
නුඹ මට ගෙනා ජීවිතය
දෝතින්ම වැලඳගෙන තුටින
ගෙවූ කාලය ඉක්ම ගොස් ඇත....
නුඹ මගේ කල ජීවිතය
හිමි නොවේ නම් නුඹටම
කුමට මේ හැටි පෙම් කර
පෙර උන්නු හැටි හොඳ නොවෙද අප....
අපි අපේ නොවන හෙට දින
හිනාවෙමු කොහේ හෝ හිඳ
දැන් නොවිමසන් මා සිත තව
නුඹ දනියි ඒ ගැන හොඳටම....



Saturday, July 23, 2011

කොහොම ගනිමි යළි මගෙ හිත.....

දුර ගමන් ගිහින් සඳවතියත් නොකියාම ඉතින්
මල් කිණිති වැටී මහ පොළොවට කිව්වා රහසින්
තරු කඩා වැටී ආකහෙනුත් කරමින් ඔච්චම්
මට හොයාගන්ට බැරි උනි කවි හිතත් නුඹ අරන්...

නුඹ මටත් හොරෙන් මගෙ හිත හොරකම් කෙරුව තරම්
මග ලකුණු දැන හමන සුලඟත් ගතු කියයි හෙමින්
මගෙ දෑස් අතරමං වන නුඹෙ දෑස් මග හැරන්
තව යන්න බෑ දුරක් නුඹ මෙහි දමා තනිකමෙන්...

 
සිත නිවන සරතැසක් නුඹ දිවි ගීය හැඩ කරන්
ගිම් නිවන පැන් පොදක් නුඹ මට සදා ලඟ ඉඳන්
සිත් මළුව පුරා නුඹ මගෙ ඔය කරනා සක්මන්
දිවි අරණ එකළු කරවන මග වේවි නිසොල්මන්...

පිපී සැලෙන දහසක් නෙක මල් සුවඳ මැදින්
මට නුඹේ සුවඳ දැනුනා පෙර සසර හුරු ලෙසින්
හද කැලඹවූ නුඹේ සෙනෙහස මහ මෙරක් තරම්
දැක කොහොම ගනිමි යළි මගෙ හිත නුඹට බැඳි පෙමින්...

Sunday, July 10, 2011

කියන්නට බැරි උනොත්............

දෑල වට තරු පොකුරු නිදි බිඳින කණිසමක
වළ දැමූ නුඹ මතක විමසුවා සිත් මලද
පසක් විය නුඹ නොමැති ජීවිතය උගත් මට
නුඹ මතක හැර යන්ට නොහැකි වග කිසි දාක
කොහේ හෝ නුඹත් ඇති මා වගෙම මේ ලෙසින
ඉඳහිටක පණ පොවන මතක යළි වළලමින
හමුවුනොත් මග තොටෙහි අහම්බෙන් යම් දිනෙක
නාඳුනන ලෙසින් නුඹ මගැ'ර යන්නේ කොහොම
වසන්තය මල් වරා සුසුම් කලඹන දාක
කියන්නට බැරි උනොත් මා නික්ම යන වගට
යළිත් අප හමුවනා හීනයක් හෝ රැගෙන
මගේ මළගම දාට ඇවිත් යන්නට එන්න..

Sunday, July 3, 2011

ආදරයට ආදරයෙනි.....

සහස් දුර ඇවිද ආ කටුක මේ ගමන් මග
සෙවනැල්ල සේ ලඟින් රැඳී උන්නේ නුඹය
දිනක් දෙදිනක් නොවෙයි, මේ සසර පුරාවට
මතක පත් ඉරු අතර සැරිසරන්නේ නුඹය.......
සුවඳ මල් පොදක් සේ ඇද හැලෙන යෞවනය
ප්‍රේමයෙන් එකළු කල සරා සඳ නුඹම විය
මලින් මල් ගවසවා සඳුන් තැවරුව සිහින
රැගෙන ආ ඔය හිතට ආදරෙයි මම හෙටද.........
උරහිසින් හිස තියන් හිඳින විට මා සිතට
හිස සිඹින ඔය සුසුම් කියාදෙයි ජීවිතය
ප්‍රේමයේ පද පේළි හෙමි හෙමින් ගලපන්න
දැන් ඉතින් මගෙ හිතම සන්තකයි නුඹ නමට.........