Saturday, September 15, 2012

වැස්ස වළාහක දෙවියනි, ඇවිදින් යනවද.....



 වැස්ස වළාහක දෙවියනි අමනාපද තව....
නිල් කෙත් වතු පුරන් වෙලා වැහි දිය නැතුවම....
වියළී ගිය මුහුණු පුරා නොකී කතා මත....
හෙලන සුසුම් පොදක පවා දුක අහුරා ඇත.....

කිළුටක් නැති අපේ හිතෙන් අපි උහුලන බර
රජ මැඳුරේ බිත්ති අතර කියවුනේම නැත.....
එහෙව් අපට එදා ඉඳන් ලඟින් උන්නු නුඹ
මෙතෙක් කලක් අමනාපව නො එන කරුණු කිම.....

නුඹ එන මග බලන් ඉන්න අප්පච්චිගෙ නෙත....
අපිට හොරෙන් වැටෙන කඳුළු වැළකුවෙ නෑ අද....
කමා වෙලා උනු දොසකට අනුකම්පා කර....
තරහ අවසරයි දෙවියනි ඇවිදින් යනවද.....

Saturday, July 28, 2012

හොඳම යාළුවාගේ වීර චාරිකාව....


එයා මට හිටපු හොඳම යාළුවා.. හිටපුම නෙවි, දැනට සහ ඉදිරියටත් ඉන්න.
හොඳම කියන්නෙ ඉතින් අතිජාතම මිත්‍රයා..

හැබැයි පොඩි වෙනසක් තිබ්බා. එයා හැමදාම මට වඩා අඩි දෙක තුනක් ඉස්සරහින් ගමන් කරේ. ඉක්මනින් හරි පරක්කු වෙලා හරි මං ගියෙත් එයා ගිය අඩි පාරට සමාන්තරව හරි , ඒ අඩි පාර උඩින්ම හරි තමා.

ඔන්න දවසක් එයා කොස් කොළ තොප්පියකුත් දාගෙන, ලී කඩුවකුත් අරන්, ඔරුවක නැගලා එයාගේ නිධානය හොයන් යනවා කියලා ගියා...
"මේ සංසාරෙන් මිදෙන්න ඕනි" වගේ මට තේරුනත් මං නොතේරෙනවා වගේ ඉන්න දේවල් ටිකකුත් කියල තමයි එයා ගියේ...

මං ඒත් මුලින් කිව්වා අඩුම ගානේ මගෙ උපන්දිනේ පහුවෙනකම්වත් ඉඳල යන්න කියල...
පොඩ්ඩක් හිතන්නකෝ හොඳම යාළුවාගෙ සුබ පැතුමක් නැති උපන්දිනයක් කියන්නෙ, මට හිතාගන්නවත් බැරි උනා....
මගේ ආත්මාර්ථකාමී ඉල්ලීමට එයා හීනියට හිනාඋනා, හිනාවෙලා කිව්වා,  “ඔයාට හොඳටම මාව තේරෙනවානෙ, මං ඔයාට හුලඟ දිගේ සුබ පැතුමක් එවන්නම්” කියල...

ඒත් ඉතින් හොඳම යාළුවා කියන්නෙ හොඳම යාළුවටනේ...එයා දන්නවා එයාගේ අඩි සලකුණු දිගේ මං ඉක්මන්ට හරි පරක්කු වෙලා හරි එනවා කියලා...ඒ නිසා එයා අඩි සලකුණු තියලා යාවි...මොකද අපි දෙන්නම එකම අච්චුවේ, තියෙන්නෙ කාලය පිලිබඳ ප්‍රශ්නයක් විතරයිනෙ...

ඉතින් එහෙනම් ආයිත් මුණගැහෙනකං සුබ ගමන් කියල විතරයි අන්තිමට මං එයාට කිව්වෙ...

හොඳම යාළුවා කියන්නෙ ඉතින් හොඳම යාළුවටනේ........!

Tuesday, July 24, 2012

පුංචි කාලේ මගේ චිත්‍රය


ඉර ඇවිත් කඳු මතින් එබෙනවා
වළාකුල් දෙක තුනක් අඳිනවා
කුරුල්ලන් පේළියට ඇදෙනවා
කොළේ මැද පොඩි ගෙයක් තියෙනවා

ගෙයි පාර දොරකඩම රැඳෙනවා

එක දොරයි ජනේලෙයි පේනවා
ගෙදර ලඟ ලොකු ගහක් තියෙනවා
පැත්තකින් පොඩි දොළක් ගලනවා

අම්මවයි තාත්තාත් අඳිනවා
වැඩි හොඳට මාත් මම අඳිනවා
ඕනි නම් මල් ගසුත් අඳිනවා
අම්මෙ මේ හරි නේද අහනවා

Tuesday, July 3, 2012

නුඹ හැරදා තටු විහිදා-කෝම යනුද අප්පච්චී.....


ඇවිදිද්දී පා පැකිලී
පුංචි හිතත් වැළපෙද්දී
කිරට නොහැරි නුඹේ රුහිරු
හැලෙනු දුටිමි කඳුලැලි වී.....
ආ මඟ දුර ගෙවා මගේ
සවියක් උනු සෙනේ නුඹේ
මතක මැදින් ඇහැරෙද්දී
හිතට දුකයි අප්පච්චී.....
තුඟු සුවිසල් අහස අරා.....
සුපුන් සඳක සිසිල දරා.....
හිරු මඬලක තෙදින් වසා.....
නුඹ දිවියම එකළු කලා.....
දයාබරම නුඹෙ සෙවනේ
කිරිල්ලියක තටු වැඩුනේ.....
නුඹ හැරදා තටු විහිදා
කෝම යනුද අප්පච්චී.....

Tuesday, May 22, 2012

මම....මා සොයා යමි.....

මම
ප්‍රේමය අකුරු කලෙමි
ජීවිතය සරියි වනපොත් කලෙමි

අතොරක් නැතිව පිපි පෙම් මල්
මල'සුන් මතම පරවනු දුටිමි

එ පසුපස වු වියෝ දුක
දැකිමි, හැඳින්නෙමි, පසක් කලෙමි

ප්‍රේමය කිමැයි විමසන බොහෝ නුවරුන් දුටිමි
සිනහවෙන් වැසූ උණු කඳුළු කැට හැඳින්නෙමි
      
      
මම
,
                                                                          එදුක් බැම්මෙන්
                                                             මිදෙමි,
                                                                   සැනසෙමි,
සුවපත්ම වෙමි…
                                                         මම,
                                                                              මා සොයා යමි……

Monday, April 30, 2012

බක් මහ හුලඟේ....

මතක අකුණු සැර

වැදුනට හිත මත

වැලලු අතීතය

ඉඳපන් ඔහොමම...

අකල් අනෝරා

කඳුළුත් අරගෙන

බක් මහ හුලඟේ

හමපන් අහකට...

Friday, April 27, 2012

නන්නාඳුනන හඳුනන...

බෝ නාඳුනන මිනිසුන්

හඳුනන හිතවතුන් වෙති....

සමහර හඳුනනා වුන්


නන්නාඳුනන අය වෙති....